Content not available.
දවසේ පුවත් පෙළගැස්ම
Webවැකිය
꧁...වැදගත් පුවතක හිතන්නට යමක්...꧂
බලතික්රමණය ( ULTRA VIRES )
අද වෙබ් වැකිය අප විසින් ලියනවා වෙනුවට හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකුවූ හා ජ්‍යෙෂ්ඨ මෙන්ම ගෞරවනීය පරිපාලන නිළධාරියකු ලෙස සැවොම පිළිගන්නා ඒ.පී.ඒ. ගුණසේකර මහතා විසින් ඔහුගේ ෆේස්බුක් ගිණුමෙහී තබන ලද ඔහුගේ අත් දැකීමක් කිසිදු සංශෝධනයකින් තොරව මෙහි සටහන් කරනවා. එහි සඳහන් අත්දැකීම අදට ඉතාමත් කාලෝචිත මාතෘකාවක් හා සෘජුව සම්බන්ධ වන අතර රාජ්‍ය නිළධාරීන්ට වරක් නොව සිය වරක් හිතන්නට යමක් එහි ඇති බවත් මතක් කරමින් එම අතීත මතක සටහන පහතින් දක්වනවා.
බලාතික්රමණය ( ULTRA VIRES ) නමැති බරපතල වරද පිළිබඳව පාසල් වියේදී ගුරු තුමෙකු විසින් ඉගැන්වූ පාඩම
මම මේ කියන්නෙ 1958 වසරදී මගේ ගුරු තුමෙකු විසින් මට ඉගැන්වූ පාඩමක් . එවකට මා අධ්‍යාපනය ලැබුවේ ගා / මාදම්පා මහා විද්‍යාලයයේ හයේ පංතියෙ . ඒ කාලෙ හයේ පංතිය කියන්නෙ හත්වැනි වසර . ඒකට හේතුව අපි පටන්ගත්තෙ හෝඩිය පංතියෙන් වීම .
මම ඒ කාලෙ වයස අවුරුදු 10 ක පොඩි කොල්ලෙක් . පොඩියි කියන්නෙ බොහොම කෙසඟ ඇටිකිච්චෙක් . හැබැයි ඒ වුනාට පංතියේ පාඩම් වැඩ හොඳටම කරපු
" දක්ෂ බුද්ධිමත් ශිෂ්‍යයෙක් " . වරද්දල තේරුම්ගන්ඩ එපා , මා ඒ විදියට නම් කළේ අපේ පංති භාර ගුරුතුමිය වුනු ලක්ෂ්මි ටීචර් . හේතුව වාර විභාගවලදි මම පංතියේ පළමුවැනියා වීම .
ඒ කාලෙ අපේ පංතියෙ මොනිටර් වුනේ ටිකක් ඇඟපත තියෙන ශිෂ්‍යයෙක් . මොන හේතුවක් නිසාද මම දන්නෙ නැහැ , පංති භාර ගුරු තුමිය ඔහු මොනිටර් කමෙන් ඉවත් කරල , මම මොනිටර් හැටියට පත් කළා . මම ඉතින් උදේට පංතියෙ රෙජිස්ටරේ ගෙනැල්ල ටීචර්ගෙ මේසෙ උඩින් තියන එකේ ඉඳල මොනිටර්ගෙ වගකීම් භාරය සුපිරියටම ඉෂ්ඨ කළා .
සමහර දවස්වලට සමහර පීරියඩ්වල විෂය භාර ටීචර් හරි සර් හරි පංතියට එන්නෙ නැහැ . ඒ වෙලාවට පංතියෙ හැම එකාම හා හැම එකීම දක්ෂ කථිකයො . හරියටම කිව්වොත් , ප්‍රාදේශීය සභාවක හරි නගර සභාවක හරි මහ නගර සභාවක හරි , සභාපතිවරයා නැත්නම් නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ නිලවරණ අවස්ථාවකදි , එහි සභික ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම සුපේෂල ශික්ෂාකාමී මහජන නියෝජිතයො තම තමන්ගේ මතය තහවුරු කිරීම සඳහා සියලු දෙනාම එකවර මේසවලට ගසමින් උච්ච ස්වරයෙන් සභාව අමතන වැදගත් අවස්ථාව වගෙයි ඒ වෙලාවට අපේ පංතියෙ කෙල්ලො කොල්ලො පංතිය අමතන්නෙ . එහෙම වෙලාවට අහල පහල පංති කාමරවල ටීචර්ලට සර්ලට ඉගැන්වීමට ලොකුම බාධාවක් අපේ පංතියෙ අයගෙ ඝෝෂාව .
මෙහෙම වෙලාවට පංතිය නිශ්ශබ්ද කරල පවත්වා ගැනීම මොනිටරයගෙ පරම වගකීමක් . ඉතින් මම අඩිකෝදුවකුත් අතට අරගෙන පංතිය මේච්වල් කර ගැනීමට දන්න කස්තිරම් අල්ලල උත්සහ ගන්නව . ඒ වුනාට මම නමැති ඇටිකිච්චා කියන කිසිම දේකට පංතියෙ වැඩි පිරිසක් තඹ සතේකට මායිම් කරන්නෙ නැහැ . එහෙම වෙලාවට ඇටිකිච්චා වුනත් මටත් කේන්ති යන එක සර්ව සාධාරණයි නේ .
පංතියේ හිටියා සුනීතා කියල කෙල්ලෙක් . කොන්ඩෙ කපනකොට බාබර්ගෙ කතුර වැඩ කරනවාට වැඩිය වේගෙන් මේ කෙල්ලගෙ කට වැඩ කරනව . රැහැයියා පුංචි වුනාට උගේ සද්දෙ තරමට අලියෙකුටවත් සද්ද කරන්ඩ බැහැයි කියනව නේ . මම දෙතුන් සැරයක්ම ඇයට කිව්වා නිශ්ශබ්ද වෙන ලෙසට . පලක් නෑ . දැන් මගේ කේන්තියත් නහුතෙටම නැගල . මම සුනීත ලඟට ගිහිල්ල ඇයගේ අතක උඩ බාහුවට අඩිකෝදුවෙන් අත දිගහැරල පහර දෙකක් ගැහුවා . ඒ ගමන මේ කෙල්ල බෙරිහන් දීල අඬනව . ඊ ලඟට මම නමැති මොනිටරය කුමක් කළ යුතුද , අසරණ වෙලා බලං ඉන්නව .
ඔය අල්ලපනල්ලෙ , පාසලේ විනය භාර ආචාර්යවරයාගේ භූමිකාවට පණ දෙන නානායක්කාර සර් වේවැලකුත් අරගෙන බොහෝම වේගයෙන් අපේ පංතියට කඩා වැදුන . දැන් මුලු පංතියම නිහඬයි . මොනිටරයගෙ කරුමෙට සුනීතා ඉකි ගහ ගහ අඬනව . සර් ආවට පස්සෙ සුනීත ඉකි ගහන සද්දෙත් වැඩි වුනා . සර් සුනීතා ලඟට ගිහිල්ල ඇඬීමට හේතු විමසුව . සුනීතත් මාව පෙන්නල කිව්වා මොනිටර් අඩිකෝදුවෙන් ගැහුව කියල . අතේ බාහුවත් පෙන්නල අඩිකෝදු පහර වැදිච්ච තැනත් පෙන්නුව . ඊට පස්සෙ සර් මගෙන් ඇහුව ඇයි මේ ගැහැනු ළමයෙකුට තමන් ගැහුවෙ කියල . ඉතින් මම කිව්වා පංතිය නිශ්ශබ්ද කර ගන්ඩ කියල .
" තමන් මොනිටර් වුනාට පංතියෙ ළමයින්ට ගහන්ඩ තමන්ට බලය දුන්නෙ කවුද ?" සර් ඇහුව . මම නමැති ඇටකිචි මොනිටරයට දෙන්ඩ උත්තරයක් නෑ . මම දැන් හරියට වීනා වාදන තරගයෙන් ගුත්තිල ඇදුරුට පැරදුනු මූසිලය වගෙයි .
" මතක තියා ගන්නව හොඳට කිසිම ළමයෙකුට ගහන්ඩ තමන්ට කිසිම බලයක් නැහැ .පංතියෙ මොනිටර් වුනාම තමන්ට බලය තියෙන දේවල් විතරක් කරනව . අල්ලනව අත මෙහාට ." අහෝ ඛේදයකි ! පංතියේ සියලුම කෙල්ලො කොල්ලො ඉස්සරහපිටදිම මම නමැති ඇටිකිචි මොනිටර් තුමාට හොඳ වේවැල් පහර දෙක තුනක් වැදුනා . දැන් සුනීතා හිණා වෙනව .මම පුරුෂ ධෛර්යය දාල , කොහොම හරි අඬන්නෙ නැතුව හිටිය . මොනව වුනත් ඇඬීම් සද්ද බද්ද නැතුව මගේ ඇස්වලින් කඳුලු ගලා යනව .
ඊට දවස් කීපයකට පස්සෙ පංතියට අළුත් මොනිටරයෙක් පත් වුනා . මුලු ජීවිතේටම වටින පාඩමක් මම ඉගෙන ගත්ත . බලාගෙන ගියාම " බලාතික්රමණය " කියන වරදේ බරපතල කම මම ඉගෙනගෙන තියෙන්නෙ පාසලේ හයේ පංතියෙදි .
මේ පැරණි සිදුවීම මගේ මතකයට නැගුනෙ , මේ දවස්වල රූපවාහිනී ප්රවෘත්ති නරඹන කොට අපේ පරිපාලන සේවයේ සමහර නිලධාරීන් තම රාජකාරි කටයුතුවලදී " බලාතික්රමණ ක්‍රියා " සිදු කරල අධිකරණය ඉදිරියේ අසරණ වන ආකාරය දැක්කම .
සෑම රජයේ නිලධරයෙක්ම තමන්ට නිත්‍යානුකූලව හිමිව ඇති බලයේ සීමාවන් හැඳිනගෙන , ඒ තුළ තමන්ගෙ රාජකාරි ඉටු කිරීමට වගබලා ගත්තොත් හොඳයි කියල මේ අවස්ථාවේ මම සටහන් කර තබනව . ඒ වගේම එම බල සීමාව තුළ තමන් විසින් ගත යුතු සියලු තීරණ නිසි පරිදි ගෙන , තමන් වෙත පැවරී ඇති සෑම රාජකාරියක්ම අප්‍රමාදවත් , කාර්යක්ෂමවත් ඉටු කිරීමත් ඔවුන්ගේ පැහැර හැරිය නොහැකි එවැනිම වගකීමක් බවත් සඳහන් කරනව .
ඒ පී . ඒ . ගුණසේකර
https://www.facebook.com/apa.gunasekare