ඓතිහාසික ඇහැලේපොළ වලව්ව ඉටි රූ කෞතුකාගාරයක් ලෙසින් අද (ජූලි 17) විවෘත කෙරිණි. මේ අද්විතීය කෞතුකාගාරය, ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, අතීත සිදුවීම් සහ ඓතිහාසික චරිත යථාර්ථවාදී ඉටි රූ මඟින් ප්‍රතිනිර්මාණය කරයි. දියවඩන නිලමේ ප්‍රදීප් නිරංග දෑලගේ සංකල්පයකට අනුව ස්ථාපිත කළ ඇහැලේපොළ වලව්ව මේ රට ප්‍රථම ඉදිර වූ කෞතුකාගාරයේ වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සුරතින් විවෘත කෙරිණි.
සිංහලයේ අවසන් රාජධානිය වන මහනුවර රාජධානිය ආශ්‍රිතව අධිකාරම් වලව් දහඅටක් පැවති අතර මේ වනවිට එම පෞරාණික ගාම්භීරත්වය සුරැකී පවතින්නේ රජවාසල හා දළදා මාලිගාව සමීපයේ පිහිටි ඇහැළේපොළ වලව්ව පමණක් වීම විශේෂත්වයකි. මහනුවර රාජධානියේ මෙම පැරැණි වලව් දහ අටෙන් බහුතරයක් මේ වන විට ව්‍යාපාරික ස්ථාන බවට පත්ව ඇති අතර ඉන් පිළිමතලාවේ වලව්ව වර්තමාන ජනාධිපති මන්දිරය වශයෙන් භාවිත කෙරේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජය සමයේ මහා අධිකාරම් වශයෙන් කටයුතු කළ ඇහැලේපොළ නිලමේ, කුමාරිහාමි හා දරුවන් වාසය කළ පසුකාලීනව සුදු ජාතිකයින් විසින්බන්ධනාගාරයක් වශයෙන් භාවිත කරන ලදුව මෑතක් දක්වා එලෙසින් භාවිත කළ ඇහැලේපොළ වලව්ව මහනුවර බන්ධනාගාර පරිශ්‍රය පල්ලෙකැලේ වෙත රැගෙන යාමෙන් අනතුරුව කිසිදු ප්‍රයෝජනයක්නොමැතිව පැවතුණි.
දුනුවිල වලව්ව මහනුවර මහ නගර සභාව වශයෙන් භාවිත වන අතර දුල්ලෑව වලව්ව, මොල්ලිගොඩ වලව්ව, රත්වත්තේ වලව්ව, දෙහිගම වලව්ව, මොලදන්ඩ වලව්ව, මුල්ලේගම වලව්ව, කපුවත්ත වලව්ව, ඇරව්වල වලව්ව, එරමුදු ලියද්ද වලව්ව, මීගස්තැන්න වලව්ව, වෑගොඩපොළ වලව්ව, නුගවෙල වලව්ව,ඇරැවපොළ වලව්ව, මාම්පිටිය වලව්ව හා ගිරිහාගම වලව්ව යන අනෙකුත් වලව් සියල්ලම පාහේ මේ වන විට ව්‍යාපාරික ආයතන බවට පත්ව තිබේ. විවිධ ව්‍යාපෘති සඳහා යෝජනා වූ ඇහැළේපොළ වලව්වේ හිමිකාරීත්වය රනිල් වික්‍රමසිංහ පාලන සමයේ විධිමත් සන්නස්පත්‍රයක් මගින් අක්කර දෙකක පමණ භූමි භාගයකින් යුත් ඇහැලේපොළ වලව්ව හා භූමිය ශ්‍රී දළදා මාලිගාව වෙත නීත්‍යානුකූලව පවරන ලදී.
මේ අද්විතීය කෞතුකාගාරය, ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ජාත්‍යන්තරය පුරා ප්‍රචලිත මැඩම් ටසූඩ්ස් කෞතුකාගාරයේ ඉටි රූ වලට නොදෙවෙනි ආකාරයෙන්, අතීත සිදුවීම් සහ ඓතිහාසික චරිත යථාර්ථවාදී ඉටි රූ මඟින් ප්‍රතිනිර්මාණය කරයි.
ශ්‍රී දළදා මාලිගාවේ බරපැනින් ඉදිවී තිබෙන මෙම කෞතුකාගාරයේ 1592 සිට 1815 දක්වා වූ ඉතිහාසයත්, කන්ද උඩරට ඉතිහාසයේ රජවරු, සියම් දේශයෙන් මෙරට උපසම්පදාව ගෙනෙන ලද පවර උපාලි හිමියෝ මල්වතු අස්ගිරි උභය විහාරයන්හි මහා නායක ස්වාමීන් වහන්සේලා, වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියෝ ඇතුළුව කන්ද උඩරට සිවිල් පරිපාලනය ඉංග්‍රීසි පාලන සමයේ චරිත ඇතුළු ඉතිහාසයේ නියෝජනය කරන චරිත ඉටි පිළි රූ ලෙස නිර්මාණය කොට ඇත. එහි නිර්මාණය කොට ඇති අභිමානවත් හා ප්‍රතාපවත්ජීවමාන ප්‍රමාණයේ ඉටි රූ තිස් හය මෙසේ දැක්විය හැකිය.
දෙවනගල මහින්දාලංකාර හිමි, හිරිපිටියේ රාළ, පළවෙනි විමලධර්ම සූරිය රජු, කුසුමාසන දේවිය, සෙනරත් රජු, දෙවැනි රාජසිංහ රජු, රොබට් නොක්ස්, දෙවන විමලධර්ම සූරිය රජු, ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු, විජය රාජසිංහ රජු, ලෙවුකේ රාළ, අස්ගිරි ප්‍රථම මහානායක උරුලෑවත්තේ නායක හිමි, මල් වත්ත ප්‍රථම මහා නායක තිබ්බුටුවාවේ මහානායක හිමි, පවර උපාලි හිමි, වැලිවිට සරණංකර සංඝරාජ නාහිමි, කීර්ති ශ්‍රී රාජසිංහ රජු, රාජාධි රාජසිංහ රජු, පිළිමතලාවේ මහාධිකාරම්
වික්‍රම රාජසිංහ රජු, වෙන්කත රංගජ්ම්මාල් බිසව, දේවේන්ද්‍ර මූලාචාරී, සර් ජෝන් ඩොයිලි, ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග්, වාරියපොළ සුමංගල නායක හිමි, කපුවත්ත අධිකාරම, මොණරවිල කැප්පෙටිපොළ, මඩුගල්ලේ නිළමේ, ඇහැලේපොළ නිළමේ, කිව්ලේගෙදර මොහොට්ටාල, ඇහැලේපොළ මහාධිකාරම්, ඇහැලේපොළ කුමාරිහාමි, ඇහැලේපොළ ලොකුබණ්ඩාර, ඇහැලේපොළ මද්දුම බණ්ඩාර, ඇහැළේපොළ ටිකිරි කුමාරි, විනිසුරු ඒ.සී.ලෝරි වශයෙනි.
මෙම චරිත 36 සජීවී ලෙස නිර්මාණය කිරීම පහසු කටයුත්තක් නොවේ. මෙම විශිෂ්ට නිර්මාණ මෙරටට දායාද කොට ඇත්තේ මහනුවර ගම්පොළ අතුල හේරත්කලාකරුවාණන් සතු නිසග හැකියාවෙනි. මෙම අපූරු නිර්මාණ බිහි කිරීමට ගතව තිබෙන්නේ මාස පහළොවක් පමණ කාලයකි.
ඓතිහාසික මහනුවර දළදා මාලිගාව කේන්ද්‍ර කර ගනිමින් පවතින්නා වූ පැරැණි චාරිත්‍ර වාරිත්‍ර ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑමත් මෙරට ඉතිහාසය හා සංස්කෘතියට ජීවය දීමත් මෙහි ප්‍රධාන අරමුණු අතර විය. ඉතිරි වූ කෞතුකාගාරයට අමතරව එදා රජවරුන් අනුභව කළ බව සඳහන් ව්‍යාංජන තිස් දෙකක රාජකීය භෝජන ප්‍රතිනිර්මාණය කර ඇත. එලෙස පැරණි ආහාර වට්ටෝරු ප්‍රතිනිර්මාණය කර ඇත්තේ ඉපැරණි රජභෝජනාගාරය ඉදිකිරීම මඟිනි. දේශීය කර්මාන්තකරුවන්ගේ නිර්මාණ ප්‍රවර්ධනය සඳහා ඉදිකරන ලද අලෙවි කුටි සංකීර්ණයක් සඳහා ද මෙහි ඉඩකඩ වෙන්කර ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉටි පිළි රූ කෞතුකාගාරය ලෙස ලෝකප්‍රකට වන මෙම කෞතුකාගාරය ඉතිහාසය යළි ප්‍රතිනිර්මාණය කිරීමක් ලෙස සැලකිය හැකිය.