ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, 2024 දී පවත්වන ලද සංගණනය ජාතික සංගණන මාලාවේ 15 වන ජන හා නිවාස සංගණනය වන අතර එය 2024 ඔක්තෝබර් 07 වන දින සිට 2025 පෙබරවාරි දෙවන සතිය දක්වා සිදු කරන ලදී. එහිදී හෙලිවූ දත්ත අනුව අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 21.7 ක් වන අතර ඉන් 51.7% ක් කාන්තාවන් වන අතර 48.3% ක් පිරිමින් වේ.

මෙහිදී, වාර්තා වූ මුළු සංක්‍රමණික ජනගහනය 3,167,263 කි. සංක්‍රමණික ජනගහනයෙන් සියයට 40.6 ක් ප්‍රධාන වශයෙන් විවාහය හේතුවෙන් සංක්‍රමණය වී ඇත.

මෙම සංගණනයේදී, ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය 21,781,800 ක් ලෙස වාර්තා වූ අතර, ඉන් 51.7% ක් කාන්තාවන් වූ අතර 48.3% ක් පිරිමින් විය. නාගරික අංශයේ, ජනගහනයෙන් 51.9% ක් කාන්තාවන් වන අතර 48.1% ක් පිරිමින් වේ. ග්‍රාමීය සහ වතු ග්‍රාමීය අංශවල කාන්තා ප්‍රතිශතය පිළිවෙලින් සියයට 51.7ක් සහ සියයට 51.4ක් වන අතර පිරිමින්ගේ ප්‍රතිශතය සියයට 48.3ක් සහ සියයට 48.6ක් වේ. වතු නාගරික අංශයේ කාන්තා සහ පිරිමි ප්‍රතිශතය පිළිවෙලින් සියයට 50.4ක් සහ සියයට 49.6ක් ලෙස වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ අනුපාතය 93.3කි. සියලුම දිස්ත්‍රික්කවල ස්ත්‍රී පුරුෂ අනුපාතය 100ට වඩා අඩුය. ඉහළම ස්ත්‍රී පුරුෂ අනුපාතය මොනරාගල දිස්ත්‍රික්කයෙන් (97.9) වාර්තා වන අතර, රටේ අඩුම ස්ත්‍රී පුරුෂ අනුපාතය මඩකලපුව දිස්ත්‍රික්කයේ (88.0) වාර්තා වේ.

2012 සිට 2024 දක්වා සංගණන කාලය තුළ රටේ වයස අවුරුදු 15 ට අඩු ජනගහනය සියයට 4.5 කින් අඩු වී ඇති අතර එය සියයට 25.2 සිට සියයට 20.7 දක්වා අඩු වී ඇත. තවද, වයස අවුරුදු 65 සහ ඊට වැඩි ජනගහනය සියයට 7.9 සිට සියයට 12.6 දක්වා වැඩි වී ඇති අතර මෙම කාලය තුළ සියයට 4.7 ක වැඩිවීමක් පෙන්නුම් කරයි.

වයස අවුරුදු පහළොවට අඩු සහ වයස අවුරුදු හැටපහ සහ ඊට වැඩි ජනගහනය යැපෙන්නන් ලෙස සැලකේ. 2012 සංගණනයට අනුව සියයට 49.4 ක් ලෙස ගණනය කරන ලද යැපුම් අනුපාතය 2024 දී සියයට 49.8 දක්වා ඉහළ ගොස් තිබේ. දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ ඉහළම යැපුම් අනුපාතය (සියයට 55.0) වාර්තා වන අතර, අඩුම යැපුම් අනුපාතය බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ (සියයට 43.0) වාර්තා වේ.


සම්පූර්ණ වාර්තාව කියවන්න: https://www.statistics.gov.lk//Resource/en/Population/CPH_2024/Population_Preliminary_Report.pdf