තෙරපිවරියන් තෙරපන ස්පා
කොළඹ වටේ වැඩිම ස්පා ගණනක අයිතිකාරයා ඉන්නේ ඌවේ…
ස්පා වැඩට ගමේ ගෑනු ගේන හැටි
බොහෝ තරුණියන් ස්පාවල හිරකාරියන්…
කාන්තාවන් බඳවාගැනීමේ ප්රධාන මාධ්ය ෆේස්බුක්…
ස්පාවලට කෙල්ලො විකුණන කොල්ලන්ගේ පැටිකිරිය…
තෙරපිවරියන් පුහුණු කරන්න නීත්යානුකූල නොවන වෙනම තැනක්…
ස්පා නාමය ලොව ප්රචලිත වී ඇත්තේ මධ්යකාලීන යුගයේ 1326 වර්ෂයේදී ය. ස්පා යන්නෙහි අරුත ඖෂධීය ගුණයකින් යුතු දිය ස්නානය කිරීම ය. කඩා හැළෙන දියඇළිවලින් ජලය ස්නානය කිරීම, ස්වභාවික උණුදිය උල්පත් ජලය ස්නානය කිරීම සහ මුහුදු ජලය ස්නානය කිරීමට මධ්යකාලීන යුගයේ සිට බොහෝ බටහිර මිනිස්සු පුරුදු වී සිටියහ. ඖෂධීය ජලය ස්නානය කිරීමෙන් ශාරීරිකව, අධ්යාත්මිකව පිරිසිදු වන බව ඔවුහු විශ්වාස කළහ. ග්රීක, රෝමානු කාලයේදී ප්රචලිත ස්පා ක්රමය 16 වන සියවස වන විට එංගලන්තය දක්වා ව්යාප්ත වී ඇත. එහෙත් වර්තමානයේ ස්පා නාමය භාවිතා කරනුයේ සම්බාහන මධ්යස්ථාන සඳහා ය.
‘සම්බාහනය’ ද ක්රිස්තු පූර්ව 3000 ට වඩා පැරැණි ප්රතිකාර ක්රමයකි. ශාරීරික වේදනා මස් පිඬු තදවීම, සන්ධි වේදනා සඳහා සම්බාහනය සාර්ථක ප්රතිකාර ක්රමයක් ලෙස ලොව ප්රසිද්ධ ය. සිරුර ලිහිල් කිරීම, ප්රබෝධය ප්රාණවත්ව වර්ධනය කර ශරීර සෞඛ්ය වැඩි කර ගැනීමට චිකිත්සාව අතිශය යහපත් ය. ශාරීරික හා මානසික පීඩාවන්ට මෙන්ම ආහාර දිරවීම ක්රමවත් කිරීම, ශරීරයේ අපද්රව්ය ඉවත් කිරීම, අධික රුධිර පීඩනය, කරකැවිල්ල, අධික තෙහෙට්ටුව, හෘද රෝග නිවාරණය සඳහා ඇවැසි රුධිර ධාවනය ක්රමවත් කිරීමට, බෙල්ලෙ, කොන්දෙ වේදනා සමනය කිරීමට සම්බාහනය හොඳ ප්රතිකාර ක්රමයකි. මේ වන විට ලොව පුරා ඇති හැකි මිනිසුන් ශරීර සෞඛ්යය, තරුණ, නිරෝගීභාවය රැකගැනීමට මසකට වරක් හෝ ශරීර සම්බාහනය සිදු කරගැනීමට පුරුදු වී සිටින බව වාර්තා වේ. එහෙත් පාරම්පරික ස්පා සහ සම්බාහන නම්වලට මුවා වී පවත්වාගෙන යන ‘ස්පා මධ්යස්ථාන’ බොහෝමයක් සම්බාහනයෙන් ඔබ්බට ගිය ලිංගික ගනුදෙනු කෙරෙන ‘ගුබ්බෑයම්’ බව සැබෑ ය.
ස්පා හෙවත් සම්බාහන මධ්යස්ථානයක් පවත්වාගෙන යෑමට 1961 අංක 31 දරන ආයුර්වේද පනත යටතේ ලියාපදිංචි වී තිබිය යුතු ය. එම ලියාපදිංචිය යටතේ පවත්වාගෙන යන සම්බාහන මධ්යස්ථානවල ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සහතික ලත් වෛද්යවරයෙක් සිටිය යුතු ය. සේවය කරන සම්බාහිකාවන් සහ සම්බහාකයන් ද ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය පුහුණු ආයතනයකින් සම්බාහන පාඨමාලාවක් හදාරා සහතික ලත් පළපුරුදු පුද්ගලයන් විය යුතු ය. සම්බාහන සයනයක උස අවම පොළොව මට්ටමේ සිට අඩි තුනක් තිබිය යුතුය. එම ඇඳ ආවරණය කර ඇති තිරපට පොළොව මට්ටමේ සිට උපරිම අඩි දෙකක් නිරාවරණය විය යුතු ය. ආයුර්වේද නීතියට අනුව සම්බාහනය ලබන පුද්ගලයා සහ සම්බාහනය කරන සේවකයා හැර වෙනත් කෙනෙක්ට එම කාමරයට ඇතුළුවීම සපුරා තහනම් ය. සම්බාහන කාමරයක් තුළ සම්බාහනයට අදාළ තෙල් වර්ග, ආලේපන (ක්රීම්) වර්ග පෙනෙන ආකාරයට තිබිය යුතු ය. සම්බාහන මධ්යස්ථානයකින් සාමාන්ය ව්යාපාරයකට අදාළ බද්දක් රජයට ගෙවිය යුතු ය. බදු ගෙවීම, පැහැර හැරීම ගැන තොරතුරක් නැත. එහෙත් මෙරට ක්රියාත්මක බොහෝ ස්පා මධ්යස්ථානවල වැඩ කරන කාන්තාවන්ට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හෝ එම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පුහුණු ආයතනයකින් ලබාගත් සහතික නොමැති බව නම් සක්සුදක් සේ පැහැදිලි ය.
බොහෝ ස්පා මධ්යස්ථානවල සාමාන්ය කාමරවලට අගුළු සහිත දොරවල් තිබේ. සම්බාහනය ලබන පුද්ගලයාගේ කැමැත්ත පරිදි සම්බාහිකාවන් දෙතුන් දෙනෙක් ලබාගැනීමට හැකියාව තිබේ.
ගනුදෙනුකරුට කැමැති කාලයක් රිසි සේ සම්බාහනය විය හැකි ය. මධුවිතෙන්, මත්ද්රව්යයෙන් මත්වෙමින් සම්බාහනය වීමට හැකි ස්පා මධ්යස්ථාන ද මෙරට බොහෝ ය. මතයි, සම්බාහනයයි අච්චාරුවක් වූ විට සිදුවන ‘විජ්ජුම්බරය’ ගැන කතා කිරීමට අප අකමැති ය. සම්බාහනයෙන් ‘තෙම්පරාදු’ වූ සම්බාහිකාවකගේ හඬට දැන් අපි සවන් දෙමු.
“නයිට් ක්ලබ්වලට වඩා සම්බාහන මධ්යස්ථාන හොඳයි. සිගරට් අරක්කු බොන්න ඕන නෑ. නිදිමරන්න ඕන නෑ. අපි ගෙනියන කෑම එක කාලා පාඩුවේ රස්සාව කරන්න පුළුවන්. එකම අවුල දවසේ ගතමනාව අඩුයි. සමහර සම්බාහන මධ්යස්ථානවලට දවසටම කස්ටමර්ලා දෙන්නයි. උදේ ඉඳලා වේලිලා හවසට හිස් අතින් ගෙදර ගිහින් තියෙන දවස් අනන්තයි. එහෙම වුණහම ගොඩක්ම සම්බාහිකාවන් හවසට කා එක්ක හරි ඉඳලා කීයක් හරි හොයා ගන්නවා. ගොඩක්ම සම්බාහන මධ්යස්ථානවලදී කෙරෙන්නෙත් ඒකම තමයි. නැති නම් ඔය සම්බාහන මධ්යස්ථානවල වැඩ කරන කෙල්ලො සම්බාහනය ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ. ඔයිල්, ක්රීම් ගාලා ඇඟ මිරිකලා, අතගානවා. ටික වේලාවක් යනකොට කස්ටමර් වචනෙ දානවා. මුලින්ම පොඩි ලයින් එකක් අල්ලලා ගාන ටිකක් උස්සලා තියෙනවා. සම්බාහන මධ්යස්ථානවලට ඇවිත් තෙම්පරාදු වෙච්ච කස්ටමර් කෙලින්ම අපිව බින්දුවටම දාලා තමයි කතා කරන්නෙ. අන්තිමේ රුපියල් දාහටත් කස්ටමර් සම්බාහිකාවන්ව ‘සම්බාහනය’ කරනවා…” වයස අවුරුදු 20 සිට නයිට් ක්ලබ්වල වන්නම් නැටූ ඇය මැදිවියට ළං වන විට සම්බාහන මධ්යස්ථානවල රැකියාවට යොමු වී ඇත. බත්තරමුල්ල ප්රදේශයේ සම්බාහන මධ්යස්ථානයක අදටත් සේවය කරන ඇය ‘ස්පා’ මධ්යස්ථානවල අඳුරු පැතිකඩ ගැන හොඳින් පැහැදිලි කළා ය.
කොළඹ සහ අවට නගරවල මෙන්ම සංචාරකයන් ගැවසෙන ප්රදේශවල හතු පිපෙන ගානට ස්පා ආයතන විවෘතව ඇති බව සැබෑය. ස්පා බෝඩ් එකට මුවා වී ලිංගික ගනුදෙනු කරන සම්බාහන මධ්යස්ථානවලට පොලිස් දැල එළන අවස්ථා ද බොහෝ ය. පසුගිය දිනවල ද මිරිහාන මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි, කාන්තා ප්රධාන පොලිස් පරීක්ෂිකා වරුණි කේසලා බෝගහවත්ත මහත්මියගේ ප්රධානත්වයෙන් මිරිහාන පොලිස් බල ප්රදේශයේ පවත්වාගෙන යන සම්බාහන මධ්යස්ථාන කිහිපයක් වැටලීම් කොට තිබිණි. එම වැටලීම්වලින් විශේෂ තොරතුරු රාශියක් සොයාගත් බව කාන්තා ප්රධාන පොලිස් පරීක්ෂිකා වරුණි කේසලා බෝගහවත්ත මහත්මිය අප සමඟ ද පැවසුවාය.
“ස්පා මධ්යස්ථාන වැටලීම් කරන්න එම මධ්යස්ථානය තුළ ගණිකා වෘත්තිය කරගෙන යන බවට උසාවි නියෝගයක් ගන්න ඕනෑ. උසාවි නියෝගයත් එක්ක යම් නගරයක ස්පා ආයතනයක් වටලනකොට ක්ෂණයෙන් අවට සෙසු ස්පා ආයතනවලට නිව්ස් එක යනවා. ඒ මොහොතේම අවට සියලුම ස්පා ආයතන වහනවා. එවැනි තියුණු සන්නිවේදන භාවිතයක් තියෙන නිසා ස්පා ආයතන වැටලීම ලේසි නෑ. ඒ වගේම වැටලීමකට පෙර උපාය දූතයො යොදවල ඒ මධ්යස්ථාන තුළ කෙරෙන ගනුදෙනුව සොයා බලනවා. උපාය දූතයො ගිහින් කතා කරපු ගමන් අහන්නෙ ෆුල් ද නෝමල් ද කියලා. ෆුල් නම් කාන්තාවන් කිහිපදෙනෙක් ප්රදර්ශනය කරනවා. ඒ අතරින් තමන්ට කැමැති කෙනා තෝරගන්න පුළුවන්. ෆුල්, නෝමල් අය කරන ගාස්තුවත් වෙනස්. ගොඩක්ම ස්පා මධ්යස්ථානවල ෆුල් එකට රුපියල් 6000 යි. නෝමල් නම් 5000 යි.
ගනුදෙනුව කතා කරනකොටම ගණිකා මධ්යස්ථානයක් බව ඔප්පු වෙලා ඉවරයි. ඊට පස්සෙ වැටලීම කරන්න අවසර තියෙනවා…”
“පහුගිය දිනවල මිරිහාන ප්රදේශයේ සම්බාහන මධ්යස්ථාන කිහිපයක් වැටලීම් කරලා අත්අඩංගුවට පත් කාන්තාවන් අතර කෝටි ගානක වාහනයක් පාවිච්චි කරන ලක්ෂ පහක විතර ජංගම දුරකථනයක් පාවිච්චි කරන සුරූපී කාන්තාවක් හිටියා. ඒ කාන්තාව විශේෂයෙන් ප්රශ්න කරගෙන යනකොට සම්බාහන මධ්යස්ථාන පරිපාලනය කරන්නෙ ඇය කියල අපිට වැටහුණා. ඇයව මෙහෙයවන තවත් කෙනෙක් සිටින බවටත් තොරතුරු අනාවරණය වුණා. එම පුද්ගලයා ඌව පළාතේ කෝටිපති ව්යාපාරිකයෙක්. මිරිහාන පොලිස් බල ප්රදේශයේ තියෙන ස්පා මධ්යස්ථාන අනූහතෙන්, විස්සක් ඔහුට අයිතියි. පිට පළාත්වලත් ඔහුට ස්පා මධ්යස්ථාන තිබෙන බවට තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා. ස්පාවලට කාන්තාවන් පුහුණු කරන වෙනම ස්ථානයක් තියෙන බවටත් තොරතුරු අනාවරණය වුණා. උපරිම දේශපාලන රැකවරණය එක්ක ව්යාපාර කරගෙන යන ඒ පුද්ගලයා කිසිම අවස්ථාවක කරළියට එන්නෙ නෑ. සියල්ල කරන්නෙ අති සූක්ෂමව තිරයෙන් පිටුපස ඉඳගෙන. සම්බාහන මධ්යස්ථානවල වැඩ කරන කාන්තාවන් කිසිම කෙනෙක් ඔහුගේ නමවත් දන්නෙ නෑ. ස්පා මධ්යස්ථානවලට ගොඩක්ම කාන්තාවන් බඳවාගන්නෙ ෆේස්බුක් මාධ්ය හරහා…”
කාන්තා ප්රධාන පොලිස් පරීක්ෂිකා වරුණි කේසලා බෝගහවත්ත මාතර පොලිසියේ රාජකාරි කරන කාලයේදී එම ප්රදේශයේ ස්පා මධ්යස්ථාන කිහිපයක් වැටලීම් කොට හතරක් සම්පූර්ණයෙන් වසා දමන තත්ත්වයට නීතිය දැඩිව ක්රියාත්මක කර තිබේ. පාතාල නායකයන් පවා අත්අඩංගුවට ගැනීමට සමත් වූ නිර්භීත, දක්ෂ පොලිස් පරීක්ෂකවරයකි. එහෙත් ස්පා මධ්යස්ථාන වැටලීම කිහිපදෙනෙකුට සිදු කළ නොහැකි බවත්, ස්පා රැකවරණ යාන්ත්රණය අතිශය ශක්තිමත් බව ද ඇය පැවසුවාය.
මෙරට බොහෝ ස්පා ආයතන තුළ සිදු කරනුයේ ලිංගික ශ්රමය සූරා කෑමකි. කාන්තාවක් විකුණා අය කරන රුපියල් 5000 – 6000 හෝ ඊට වැඩි මුදලෙන් ගනුදෙනුකරුවන් සමඟ යහන්ගත වන සම්බාහිකාවට ලබා දෙන්නෙ සොච්චම් මුදලකි. ඇය යම් තෘප්තියක් විඳින්නේ නම් ඒ ගනුදෙනුකරු විසින් ලබාදෙන සන්තෝසමේ තරමට ය. ස්පා මධ්යස්ථානවල සේවය කරන, අප සමඟ කතාබහ කළ සියලුම කාන්තාවන් එකහෙළා කියා සිටියේ ජීවත්වීමට රැකියාවක් නොමැති නිසා එවැනි ‘ජොබ්’ එකක් කරන බව ය. එමෙන්ම ස්පාවල රැකියා කරන කාන්තාවන් බහුතරයකගේ සැමියා අතහැර ගොස් ය. මිය ගොස් ය. දැඩි ලෙස මත්ද්රව්යයට ඇබ්බැහි වී සිටින්නෙක් හෝ සිරගත වී සිටින්නෙකි. දුර පළාත්වල දුප්පත් පවුල්වලින් නගරයට පැමිණ විශ්වවිද්යාල අධ්යාපන ලබන සිසුවියන් මෙන්ම, ඇඟලුම් සේවිකාවන් ද ස්පාවලදී ඉඳහිට හමුවෙති. ඔවුන් ද සළෙලුන්ගේ කෙළි බඩු බවට පත් වී සිටිනුයේ සතුටින් නොවේ, ආර්ථික අපහසුතාවල ප්රබලත්වය මත ය. විශ්වවිද්යාල සිසුවියන් ස්පාවල රැකියා කරනුයේ අධ්යාපන කටයුතු සඳහා මුදල් සොයාගැනීමට ය. ඇඟලුම් සේවිකාවන්, වෙනත් ආයතනවල ඇතැම් සේවිකාවන් ලැබෙන සොච්චම් වැටුප ජීවන ගැටලු විසඳාගැනීමට ප්රමාණවත් නොවන පසුබිමක අමතර ආදායමක් උපයාගැනීම වස් දවසේ පැය කිහිපයක්, නිවාඩු දිනවල ස්පා මධ්යස්ථානවල සේවය කරති. පෙම්වතුන් ලෙස රඟපාමින් ගම්බද ළාබාල තරුණියන් රවටාගෙන නගරයට රැගෙනවිත් සම්බාහන මධ්යස්ථානවලට, නයිට් ක්ලබ්වලට විකුණන තිරිසන් කොල්ලන් ද සිටිති. නොසිතූ ලෙස ‘ස්පා මස් කඩයකට’ ගාල් වෙන තරුණියන්ව සිර කරගෙන, බියවද්දමින් ලොව පැරැණිම වෘත්තියේ යෙදවීමට හිත්පිත් නැති නරුමයන් කටයුතු කරති. ඒ ගැන හද කම්පා කරවන කතාවක් වරුණි බෝගහවත්ත අප සමඟ පැවසුවාය.
“මාතර ස්පා මධ්යස්ථානයක් වැටලීම් කරල කාන්තාවන් කිහිපදෙනෙක් අත්අඩංගුවට අරගෙන ඉන්නකොට එක ළමයෙක් ඔළුව උස්සන්නෙම නැතිව බිම බලාගෙනම හිටියා. මම බලනකොට සට, සට ගාලා කඳුළු කැට වැටෙනවා. රෝස මලක් වගෙ හරිම ලස්සන ගැහැනු ළමයා. ඒ ළමයව පැත්තකට අරගෙන ‘ඔයා බය වෙන්න එපා. ඔයාට තියෙන ප්රශ්නය කියන්න. මම ඔයාට උදව් කරනවා…’ කියලා කිව්වා.
‘මගෙ ගම නුවර. මට සැලුන් එකක් කරන්න ලොකු ආසාවක් තිබුණා. ‘වැඩ පුරුදු වෙන්න යාළුවෙක්ගෙ සැලුන් එකකට දාන්නම්’ කියලා බෝයිෆ්රෙන්ඩ් තමයි මාව මෙතැනට අරගෙන ආවේ. අද දවල් අපි ආවේ. මෙතැනට ඇවිත් ටික වෙලාවක් ගියාට පස්සෙ තමයි මෙහෙම තැනක් කියල දැනගත්තෙ. ඒ වෙනකොට බෝයිෆ්රෙන්ඩ් මාව දාලා ගිහින්. මෙහෙම තැනක මට ඉන්න බෑ. දෙමවුපියන්ට මුහුණ දෙන්නෙ කොහොමද? අද රෑට මම මැරෙනවා කියලා හිතාගෙන හිටියේ…’
“ඔයාට කරදරයක් වුණේ නෑනේ. ඔයා බය වෙන්න එපා. මම ඉන්නවා…”
එහෙම කියනකොට ‘මට මෙහෙම කරදරයක් වෙලා කියලා අම්මට නම් කියන්න එපා… එයා පපුව පැළිලා මැරෙයි…’ කියලා ඒ ළමය අඬන්න ගත්තා. ස්පා එකට ඇවිත් පැය ගානයි. ඒ ළමයව ලොකු ගානකට ගනුදෙනුකරුවෙක්ට විකුණලත් තිබුණා. ඒත් රූම් එකට ගියාට පස්සෙ ඒ ළමයා අඬලා, වැළපිලා ඇඟට අත තියන්නවත් දීලා නෑ. ඊට පස්සෙ ගනුදෙනුකරු මේ ළමයාව එපා කියලා වෙන කෙනෙක් අරගෙන තිබුණා. ඒ දරුවගෙ වාසනාවට එදා හවස අපි වැටලීම් කරන තෙක් වෙන ගනුදෙනුකරුවෙක් ඇවිත් තිබුණේ නෑ. ආවා නම් දැක්ක ගමන් ගන්නවා. ඒ තරම් කෙල්ල හැඩයි. ළමයව පොලිසියට අරගෙන ගිහින්, ගෙදර දුරකථන අංකය ඉල්ලගෙන අම්මට කතා කරලා, ‘ළමයට පොඩි කදරයක් වෙලා තියෙනවා. ඒත් කිසිම ප්රශ්නයක් වෙලා නෑ. කළබල නොවී මාතර පොලිසියට එන්න කියලා දෙමවුපියන්ව දැනුවත් කරලා ගෙන්න ගෙන ළමයව භාර දුන්නා. ළමයගෙ වාසනාවට තමයි එදා හවස ඒ ස්පා එක වැටලුවේ.
රෑ එළිවෙනකම් හිටියා නම් ඒ ළමය හපයක් වෙනවා. එහෙම වුණා නම් මහ අපරාධයක්. ඒ ළමයට වයස අවුරුදු 21 යි. ස්පා වැටලීම් කරල අත්අඩංගුවට ගන්න කාන්තාවන් කියන කතාවලට නම් ඇඬෙනවා. ඒ අය කියන්නෙ බොරු නෙමෙයි, බය වැඩිකමට හදවත කතා කරන්නෙ. ස්පාවල ඉඳල අත්අඩංගුවට ගන්න කිසිම කාන්තාවකට නඩු දාන්නෙ නෑ. ඔවුන්ව සාක්ෂිකාරයන් හැටියට තියාගන්නවා…” වරුණි බෝගහවත්තට තවත් කාන්තාවකගේ දුක හොඳින් දැනේ. එහෙත් පිළිලයක් සේ උඩු දුවමින් පවතින ‘ස්පා’ නමට වහං වී කරගෙන යන මාංශ වෙළෙඳ මධ්යස්ථාන මෙරටින් අතුගා දැමිය යුතු ය.
පැවැති ආණ්ඩුවල මැති, ඇමැතිවරුන්ගේ රැකවරණය තුළ කෝටිපති ව්යාපාරිකයන් විසින් පවත්වාගෙන ගිය ‘ස්පා මාංශ කඩ’ වර්තමාන රජයේ ද දේශපාලන රැකවරණය යටතේ ගැටලුවකින් තොරව කරගෙන යන බව වාර්තා වේ. කැලේ මාරු වුණාට කොටින්ගෙ පුල්ලි මාරු වී නැති බව පෙනේ. ‘සිස්ටම්’ වෙනස් කිරීම ‘පුහු වචන’ පමණක් බව ද රට්ටුන්ට පසක් වෙමින් තිබේ. එහෙත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්රමිතීන්ට අනුකූලව, නීත්යානුකූලව සම්බාහන මධ්යස්ථාන පවත්වාගෙන යෑමේ කිසිදු ගැටලුවක් නැත. සම්බාහනය මිනිසුන්ගේ නිරෝගීභාවය ආරක්ෂා කරගැනීමට අත්යවශ්ය ප්රතිකාර ක්රමයකි. මෙරට ක්රියාත්මක සම්බාහන මධ්යස්ථාන නිවැරදිව නියාමනය කිරීම අදාළ රාජ්ය ආයතනවල වගකීමකි.

- දිවයින
.