ආණ්ඩුව විසින් යෝජනා කර තිබෙන හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව හිටපු විධායක ජනාධිපතිවරුන් සියලු දෙනාම එකට එක්ව නීතිමය පියවර ගැනීම සඳහා මූලික සාකච්ඡා පවත්වා ඇති බවට මාධ්‍ය වාර්ථා කර ඇත.
ඒ අනුව මෙහි නෛතික තත්ත්වය පිළිබඳ සොයා බැලීමට හිටපු ජනාධිපතිවරුන් සියලු දෙනා විසින් නීතිඥයන් 50ක ගෙන් පමණ යුතු මණ්ඩලයක ගෙන් උපදෙස් ගනිමින් සිටින බව වාර්තා වේ. මේ සාකච්ඡා සහ කටයුතු වෙනුවෙන් හිටපු ජනාධිපතිවරුන්, ඔවුනගේ නියෝජිතයන්, නීතිඥයන් එක්වී ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
මෙහි මූලික සාකච්ජාවක් පසුගිය ඉරිදා දින මල් පාරේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයේදී පවත්වා ඇත. රනිල් වික්‍රමසිංහ, මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය පවත්වා ඇත.
එම සාකච්ඡාව සඳහා මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, චන්ද්‍රිකා කුමාරතුංග යන මහත්ම මහත්මීන්ගේ නියෝජිතයන් සම්බන්ධ වූ බව ජනාධිපති නීතිඥවරයෙක් කීය.
අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බලයෙන් සම්මත කර ගනු ලැබූව ද ආණ්ඩුව සිතන ආකාරයට මෙය ක්‍රියාත්මක කිරීමට නොහැකිවනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, ඉදිරි දින 14 ඇතුළත මෙම නව පනතට එරෙහිව නඩු කටයුත්තක් පැවරීමට හිටපු ජනාධිපතිවරුන් කටයුතු කරන බව ද හෙතෙම වැඩිදුරටත් කීය.
අකිත පෙරේරා, අරුණ බෝගහවත්ත
Divaina