වර්ෂ 1766 දී Linnaeus විසින් හඳුනාගන්නා ලද විදුලි ආඳා දකුණු අමාරිකාවේ ඇමසෝන් සහ ඔරිනොකෝ ද්‍රෝණි වලින් සුලභව හමු වෙන මත්ස්‍යයෙක්. IUCN වර්ගීකරණය අනුව අඩු අවධානමක් සහිත (LC) කාණ්ඩයට යි මෙයාල අයත් වෙන්නේ. පුළුල් ව්‍යාප්තිය, බොහෝ වාසස්ථාන සඳහා පහසුවෙන් අනුවර්තනය වීමේ හැකියාව වගේම විශේෂිතව හඳුනාගත් තර්ජනයක් නොවීම මිට හේතු වෙලා තියෙන්නේ.
මේ සතා සැබෑ ආඳෙක් නෙවෙයි, පිහියා මාළු (knifefish) විශේෂයකට අයත් ඉතා සුවිශේෂී සතෙක්. විදුලි ආඳාගේ සිරුරෙන් 80% ක් පමණම විදුලිය නිපදවන විද්‍යුත් සෛල (electrocytes) නම් විශේෂිත අවයවවලින් සමන්විතයි. මේවා බැටරියක සෛල වගේ ක්‍රියා කරනවා.
* අඩු වෝල්ටීයතා ධාරාව: ජලයේ ගමන් කරන විට හෝ ගොදුරු සොයාගැනීමට, මේ සතා ඉතා අඩු වෝල්ටීයතාවයකින් යුත් විදුලි ධාරාවක් නිකුත් කරනවා. මෙය සොනාර් යන්ත්‍රයක් වගේ ක්‍රියා කරලා අවට පරිසරය ගැන තොරතුරු ලබාදෙනවා.
* ඉහළ වෝල්ටීයතා ධාරාව: ගොදුරක් අල්ලාගැනීමට හෝ සතුරන්ගෙන් බේරෙන්න අවශ්‍ය වුණාම, විදුලි ආඳාට පුළුවන් වෝල්ට් 600ක් තරම් ප්‍රබල විදුලි සැරක් නිකුත් කරන්න. මේක නිවසක විදුලි පේනුවක තියෙන වෝල්ටීයතාවයට වඩා 5 ගුණයක් විතර වැඩියි! හොඳින් වැඩුණු අශ්වයෙක් බිම වට්ටන්න උනත් ඒ විදුලිය ප්‍රමාණවත්.
* ආහාර සහ දඩයම් කිරීම: කුඩාම අවදියේදී අපෘෂ්ඨවංශීන් ආහාරයට ගත්තත් වැඩුනු මසුන්ගේ ආහාර වෙන්නේ මාළු වර්ග, උභය ජීවින්, ජලයට වැටෙන කුරුල්ලන්, කුඩා ක්ෂීරපායි සතුන් වැනි දේ. විදුලි ආඳා සැලකෙන්නේ ඉහල මට්ටමේ විලෝපිකයෙක් විදියට . ඒ කියන්නේ මෙයාල අනෙක් සත්තු ගොදුරු කරගත්තත් වෙනස් සතුන්ට මෙයාල ගොදුරු කරගන්න අමාරුයි.
* හුස්ම ගැනීම: අඩු ඔක්සිජන් මට්ටමකින් යුතු නිසල ජලයා ඇති මඩ සහිත ජලාශ, වගුරු, දිය පහරවල් තමා මෙයාලගේ වාසස්ථාන වෙන්නේ. ඔක්සිජන් මට්ටම කොච්චර අඩු උනත් මෙයාලට ගැටළුවක් නොවෙන්නේ වායුගෝලීය ඔක්සිජන් ලබා ගැනීමට තියෙන හැකියාව නිසයි. විනාඩි 10 කට පමණ වරක් ජාල මතුපිටට ඇවිත් මෙයාලගේ ඔක්සිජන් අවස්යතාවය සපුරාගන්නවා.
* වාසය: මේගොල්ල අඳුරු තැන් වලට බොහොම ප්‍රියයි. නිශාචර සත්වයෙක් විදිහටත් හඳුන්වන්න පුළුවන්.අනිත් කාරණේ තමා මෙයාලගේ ඇස් පෙනීම හරිම දුර්වලයි.ඒත් මඩ වතුරේ , අන්ධකාරේ උනත් ඉතා නිවැරදිව මාර්ගය හොයාගෙන සැරිසරන්න මෙයාලට පුළුවන්.
* ආරක්ෂාව: මේ සතාට තමන්ගේම විදුලි සැරයෙන් හානියක් වෙන්නේ නැහැ. ඒකට හේතුව එයාලගේ සිරුරේ තියෙන මේද ස්ථරය සහ විදුලි අවයවවල තියෙන විශේෂිත පරිවරණයයි.
විදුලි ආඳා කියන්නේ ස්වභාවධර්මයේ තියෙන පුදුම සහගත නිර්මාණයක්.
සොබාදහමේ ජීව විද්‍යාත්මක විදුලි බලාගාරය
By