අති පූජනීය බුදුන් වහන්සේගේ ධාතූන් වහන්සේලා ඇතුලු පූජනීය ආභාරණ විකිණීම වහාම නතර කර එම කෞතුක වස්තු සියල්ල ඉන්දියාව වෙත ආපසු ලබා දෙන ලෙස ඉල්ලමින් අදාළ වෙන්දේසි ආයතනය වන හොංකොං හී සොතෙබිස් වෙත නීතිමය ලිපියක් යැවීමට ඉන්දියාව කටටයුතු කර ඇති බව වාර්ථා වේ.

1898 දී උත්තර් ප්‍රදේශ් හී පිප්‍රහ්වා හි ස්තූපයකින් බුදුන් වහන්සේට අයත් යැයි හඳුනාගත් අස්ථි කොටස් සමග මුතු, මැණික්, නිල් මැණික්, රත්‍රං ඇතුළු අභාරණ 1,800කට ආසන්න ප්‍රමාණයක් සොයා ගනු ලැබූ අතර මෙම භාණ්ඩ හෙට (07) දිනයේදී වෙන්දේසි කිරීමට නියමිත අතර සොතෙබි සමාගම විසින් ඒවායේ වටිනාකම හොංකොං ඩොලර් මිලියන 100ක් ලෙස ගණන් බලා තිබුණි.

ඒ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් ඉන්දියානු සංස්කෘතික අමාත්‍යංශ ප්‍රකාශකයකු පැවසුවේ වෙන්දේසිය පිළිබඳ තොරතුරු රැස් කර ඇති අතර අදාළ වෙන්දේසි සමාගම වෙත මේ සම්බන්ධව දන්වමින් නීතිමය ලිපියක් යොමු කිරීමට පියවර ගෙන ඇති බවය.

එමෙන්ම ඉන්දීය පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනය ද හොංකොං කොන්සල් ජනරාල්වරයා වෙත දැනුම් දී ඇත්තේ අදාළ වෙන්දේසිය වහාම නතර කරන ලෙසත් මේ සම්බන්ධව බලධාරීන් සමග සාකච්ඡා කිරීමට පියවර ගන්නා ලෙසත්ය.