මහජන විරෝධතා හමුවේ අගමැති කඩ්ගා ප්‍රසාද් ෂර්මා ඔලි ඉල්ලා අස් වුණත් බුදුන්ගේ දේශය තවදුරටත් ගිනි ගනිමින් තිබෙනවා. එය බෞද්ධයන්ගේනම් හදවතට ගිනි තැබුවා හා සමානයි.

නේපාල අගමැතිවරයා ඉල්ලා අස්වන්නේ ඔහුගේ රජයේ දූෂණ චෝදනාවන්ට එරෙහි මාරාන්තික විරෝධතාවලින් පසුවයි. ආණ්ඩුව විසින් එරට සමාජ මාධ්‍ය තහනම කිරීම මෙම අරගලයට ආසන්නතම හේතුව වුණා. ඊට එරෙහිව Gen Z විරෝධතා උත්සන්න වීම නිසා පසුගිය සඳුදා අදාළ තහනම ඉවත් කිරීමට අගමැති ඕලි පියවර ගත්තා. ඒත් විරෝධතා නිමා වුණේ නැහැ.

මෙම විරෝධතා අතරතුර පුද්ගලයින් 19 දෙනෙකු මිය ගියා. මානව හිමිකම් ක්‍රියාකාරීන් කියන විදියට මිය ගිය ප්‍රමාණය ඊට බොහෝ සෙයින් වැඩියි.

ඇඳිරි නීතිය නොතකා අරගලකරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී එය ගිනි තබා තිබෙනවා. මේ මොහොත වන විට එරට ශ්‍රේෂ්ඨාධිකරණයත් ගින්නට හසුව තිබෙනවා. සමහර පොලිස් ස්ථාන සහ සුඛෝපභෝගී හෝටල් සංකීර්ණත් ගිනිගෙන දැවෙන ආකාරයේ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා.

ඊට පෙර ඔවුන් රටේ විශාලතම පක්ෂය වන නේපාල කොංග්‍රසයේ කාර්යාලය සහ අගමැති ඕලිගේ නායකත්වයෙන් යුතු නේපාල කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයත් ගිනි තබා විනාශ කළා. ඊට අමතරව ප්‍රධාන පෙළේ දේශපාලන නායකයන් කිහිප දෙනෙකුගේ නිවාසවලට ද කඩා වැදී ඒවාද ගිනිබත් කර තිබෙනවා. අගමැති ඕලිගේ නිවසත් ගිනි බත් කර තිබෙනවා.

Gen Z නොසන්සුන්තාව ඉහළ යැමට ආසන්න හේතුව සමාජ මාධ්‍ය තහනම වුවත් එය කාලයක් තිස්සේ සමාජය තුළ කැකෑරෙමින් තිබුණ කෝපයක්. දුප්පත් රාජ්‍යයක ජනතාව පීඩනයෙන් සිටිද්දී පාලක පැලැන්තියේ ප්‍රභූන් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන බවට සමාජ මතයක් වර්ධනය වෙමින් තිබුණා.

නේපාල සමාජ මාධ්‍යවල, "Nepo-Kids" නමින් වූ නාට්‍යයක් අසාමාන්‍ය ලෙස ජනප්‍රිය වීම ආණ්ඩුව විසින් සමාජ මාධ්‍ය තහනම් කිරීමට ප්‍රමුඛ හේතුවක් වුණා. Nepo-Kids යනු ඥාති සංග්‍රහය ( Nepotism ) යන්නෙන් බිඳී ආ වදනක්. මෙම යෙදුම රජයේ ඉහළ නිලධාරීන්ගේ සහ අමාත්‍යවරුන්ගේ දරුවන් හැඳින්වීමට බහුලව භාවිතා වෙනවා.

නේපාලයේ වත්මන් පාලකයන්ට අමතරව හිටපු අගමැතිවරුන්ගේ නිවාසවලට ද අරගලකරුවන් ගිනි තබා තිබෙනවා. හිටපු අගමැති ජාලා නාත් ඛනාල්ගේ බිරිඳ වන රවී ලක්ෂ්මි චිත්‍රකාර් එවැනි ප්‍රහාරයකින් බරපතල ලෙස පිළිස්සී ඇති බව වාර්තා වෙනවා. අලුත්ම වාර්තාවන්ට අනුව ඇය පිළිස්සී මිය ගිහින්.

තවත් හිටපු අගමැතිවරුන් දෙදෙනෙකු වන පුෂ්ප කමල් දහල් සහ ෂර් බහදූර් ඩියුබාගේ නිවාස ද ගිනි තබා තිබෙනවා. මරණ 19 සඳහා වගකීම භාර ගත් ස්වදේශ කටයුතු ඇමති රමේෂ් ලේඛක් ඉල්ල අසුවුවත් ඔහුගේ නිවස ද ගිනි තබා තිබෙනවා.

පාලක පක්ෂයේ සහ වෙනත් සම්ප්‍රදායික දේශපාලන නායකයන් වෙත මුදා හරින ඉතා ම්ලේච්ඡ ප්‍රහාරවල වීඩියෝ මේ වන විටත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා.

ගිනි ජාලා මතින් අහසට නැඟෙන දුමාරයෙන් කත්මණ්ඩු නිම්නය වැසී යද්දී කත්මණ්ඩු ජාත්‍යන්තර ගුවන්තොටුපළ වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමා තිබෙනවා.

කවුද මේ අගමැති ප්‍රසාද් ෂර්මා ඕලි

ඉල්ලා වූ අගමැති ප්‍රසාද් ෂර්මා ඕලි ගැනත් යමක් සඳහන් කළ යුතුයි. 73 හැවිරිදි ඕලි පසුගිය වසරේ ජූලි මාසයේදී සිය සිව්වන ධුර කාලය සඳහා දිවුරුම් දුන්නා. නේපාල ඒකාබද්ධ මාක්ස්- ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ නායකයා වූ ඕලි රටේ දූෂණයට හා දරිද්‍රතාවයට එරෙහිව සටන් කරන බවට පොරොන්දු වුණා.

නව යොවුන් වියේදී විප්ලවවාදියෙකු ලෙස වසර 14 ක් සිරගතව සිටීමට ඕලිට සිදුවුණා. 2008 දී පැවති විරෝධතා හේතුවෙන් නේපාලයේ දීර්ඝකාලීන රාජාණ්ඩුව අහෝසි වුණා. ඉන් පසුව පැවති අවිනිශ්චිත දේශපාලන පරිසරය තුළ වාමවාදී ඕලි කැපී පෙනෙන ලෙස ඉස්මතු වුණා.

1952 දී නැගෙනහිර නේපාලයේ උපත ලැබූ ඔලිගේ ළමා විය ඉතා දුගී හා දුෂ්කර කාලයක් වුණා. වයස අවුරුදු හතරේදී ඔහුගේ මව වසූරිය රෝගයෙන් මිය ගියා. ඔහුගේ පවුල ගංවතුරෙන් අවතැන් වූ අතර ඔහු හැදී වැඩුණේ සීයා සමඟයි.

කොමියුනිස්ට් දෘෂ්ටිවාදයට අනුකූලව තරුණ ක්‍රියාකාරිකයෙකු ලෙස දේශපාලනයට පිවිසි ඔහු 1970 සහ 1980 ගණන්වල රාජාණ්ඩුවට විරුද්ධ වීම නිසා සිරගත කළා. එය ඔහුගේ දේශපාලන දැක්ම සහ මහජන ප්‍රතිරූපය හැඩගස්වා ගැනීමට අත්දැකීමක් වුණා.

කොමියුනිස්ට් පක්ෂයද ඇතුළත් මාක්ස්-ලෙනින්වාදී CPN-UML සන්ධානයේ ආරම්භක සාමාජිකයෙකු වූ ඕලි එරට අගමැති ලෙස පත්වීමට පෙර අභ්‍යන්තර, විදේශ කටයුතු ඇතුළු ප්‍රධාන අමාත්‍ය ධුරයන් දැරුවා.

2015 දී නේපාලය හා ඉන්දියාව අතර දේශසීමා පිළිබඳ මතභේදාත්මක තත්ත්වයක් ඇති වී ඉන්දියාව විසින් නේපාල කඳුකර දේශසීමා මාර්ග අවහිර කළා. ඒ හේතුවෙන් මාස කිහිපයක් තිස්සේ නේපාලයේ ඉන්ධන සහ ඖෂධ හිඟයක් ඇති වුණා. අගමැති ඕලි මුලින්ම බලයට පත්වන්නේ ඒ වසරේදීමයි.

සමහර දේශපාලන නිරීක්ෂකයින්ට අනුව ඕලි යනු චීන හිතවාදියෙක්. පළමු ධුර කාලය තුළ දේශ සීමාවේ ඉන්දියාව විසින් පාලනය කරනු ලබන මතභේදාත්මක ප්‍රදේශ නේපාලයට ඇතුළත් කර සිය රටේ සිතියම වෙනස් කිරීමට ඔහු උත්සාහ ගත්තා.

කළබලකාරී අරගලකරුවන්ට සන්සුන් වී සාකච්ඡාවෙන් ගැටළු විසඳාගන්නා මෙන් ඒකාබද්ධ හමුදා නායකයන් මේ වන විට ඉල්ලා තිබෙනවා. බොහෝ ජාත්‍යන්තර විචාරකයන්ට අනුව නේපාලය ගිනි ගනිද්දී ගින්න නිවීමට සුදුසු අනුප්‍රාප්තිකයෙකු නම් නොකර අගමැතිවරයා ඉල්ලා අස්වීම භයානක තත්ත්වයක්. මේ වන විට එරට ජනාධිපතිවරයා ද සිය ධූරයෙන් ඉවත් වී තිබෙනවා. මේ විනාශයේ දේශපාලන හා ආර්ථික රික්තය දශක ගණනාවක් ඉදිරියට ඇදෙනු ඇති.

නේපාලය පියවරක් ඉදිරියට යෑමට උත්සාහ කළත් අද එය සැතපුම් ගණනාවක් පසුපසට ගිහින්.


( ‌‌‌‌‌‌ෆේස් බුක්හී පලවූ ලිපියක් ඇසුරින්)