දෛනිකව මෙරට තුළ පිහිටි ATM යන්ත්‍ර හරහා රුපියල් බිලියන 21.5ක වටිනාකමින් යුත් ගනුදෙනු මිලියන 1.3ක් පමණ සිදුවන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එලෙස සිදුවන ගනුදෙනු අතර එක් බැංකුවකින් වෙනත් බැංකුවක ATM කාඩ් පතක් උපයෝගී කර ගනිමින් දෛනිකව සිදුකරන මුදල් ගනුදෙනුවල වටිනාකම රුපියල් බිලියන 4.6ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

දෛනිකව ශ්‍රී ලංකාවේ ඔන්ලයින් හරහා ගනුදෙනු ලක්ෂ 06ක් පමණ සිදුවන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එක් ගනුදෙනුවක් සඳහා බැංකුව විසින් පාරිභෝගිකයෙකු ගෙන් රුපියල් 25ක මුදලක් අය කරනු ලැබේ.

''මෙම ගාස්තුව මුදල් යවන්නාගේ බැංකුව, මුදල් ලබන්නාගේ බැංකුව සහ Lanka Pay සමාගම අතර බෙදී යන අතර ශ්‍රී ලංකා මහ බැංකුවට කිසිදු මුදලක් නොලැබෙන" බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.  

 "ශ්‍රී ලංකාවේ ක්ෂණික ගෙවීම් පද්ධතිය වන විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වන පොදු යාන්ත්‍රණය හරහා බැංකු ගිණුමකින් වෙනත් බැංකු ගිණුමකට මුදල් යැවීමේදී අය කළ උපරිම අගය ඉකුත් පෙබරවාරි මස 15 වැනිදා සිට රුපියල් 30 සිට 25 දක්වා අඩු කරන ලදී. 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කලින් කලට පියවීමේ පද්ධති ආශ්‍රිත ගාස්තු සමාලෝචනය කර සංශෝධනය කරනු ඇත."

මේ අතර, එක් බැංකුවකින් වෙනත් බැංකුවක ATM කාඩ් පතක් උපයෝගී කර ගනිමින් සිදුකරනු ලබන ගනුදෙනුවකදී බැංකුව විසින් රුපියල් 30ක ගාස්තුවක් අය කරනු ලැබේ. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, දෛනිකව රුපියල් බිලියන 4.6ක් වටිනා ගනුදෙනු සිදුවන බව ය. 



-BBC