මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් කේ.ඩබ්ලිව්. කණ්ඩම්බි මහතා වෙනුවට වෙනත් අයකු පත් කිරීම නීති විරෝධී බව තීරණය කරමින් කණ්ඩම්බි මහතා අදාල තනතුරට පත් කිරීමට දුන් අභියාචනාධිකරණය විසින් ලබාදුන් නියෝගය ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාසයක් කර ඇති බවට ගොනු කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ජූනි 02 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධක්ෂ මණ්ඩලයට නියම කරමින් අභියාචනාධිකරණය පෙරේදා (20) නොතිසි නිකුත් කළේය.
සිවිල් ඉංජිනේරුවකු ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කරන කේ.ඩබ්ලිව්. කණ්ඩම්බි මහතා විසින් ගොනුකළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඞ් ලෆාර් තාහිර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල එසේ නියෝග කළේය.පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාධුරය සඳහා සිය සේවාදායකයා පත් කරන ලෙස පසුගිය 08 වැනිදා අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කර ඇතැයි කීය. මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා, විෂය භාර අමාත්‍යවරයා ඇතුළු වග උත්තරකරුවන්ට එරෙහිව මෙම නියෝගය නිකුත් කර තිබූ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා මෙතෙක් අදාළ නියෝගය ක්‍රියාත්මක කර නොමැති බව පෙන්වා දුන්නේය.අධිකරණයෙන් දුන් නියෝගය ක්‍රියාත්මක නොකිරීමෙන් වගඋත්තරකරුවන් අධිකරණයට අපහාසයක් කර ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස නියම කරමින් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට නොතීසි නිකුත් කළේය.