නීතියට පටහැනිව වෙනත් පුද්ගලයින් තිදෙනෙකුට උසස්වීම් ලබාදීමෙන් තම අයිතීන් කඩ වී ඇති බවට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවකයන් තිදෙනෙකු විසින් එහි සභාපතිවරයාට එරෙහිව ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ  ශ්‍රේෂ්ඨාධිකරණය එක් පෙත්සම් කරුවකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කර එම සේවකයාට වසර 11ක් අතීතයට බලපාන පරිදි උසස්වීමක් ලබා දෙන ලෙස නියෝග කරනු ලැබුවා.

ඒ, අනුව රූපවාහිනී සංස්ථාවේ යූ.පී.ඊ. විජේසූරිය නමැති සේවකයා, 2014 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි තාක්ෂණික පරිපාලක තනතුරට වහාම උසස් කළ යුතු බවට අධිකරණය නියම කළේ.

2019 වසරේ දී රූපවාහිනී සංස්ථාවේ තාක්ෂණික පරිපාලක තනතුර සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයකදී තමන්ට අසාධාරණයක් වූ බව පවසමින් අදාළ සේවකයා ඇතුළු තිදෙනෙකු විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි ඒ තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ.

එස්. තුරේරාජා, මහින්ද සමයවර්ධන සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.