වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විසින් කැකිරාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් දෙදෙනා අතර එක් කාන්තාවක්ද සිටින බව පොලිසිය කියා සිටී.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එම සැකකරුවන් සමඟ සිටි තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු පොලිසිය සමඟ පොර බැදීමක් සිදුකර ඇත.  එම අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ප්‍රතිකාර ලබා ගැනීමට යොමු කර ඇති බවත් සැකකරුවන් විසින් අපරාධයට භාවිතා කරන ලද යතුරු පැදිවලින් එක් යතුරු පැදියක්, රුපියල් ලක්ෂ දොලහකට අධික මුදල් ප්‍රමාණයක්, හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය භාවිතයට යොදා ගන්නා උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්ථා වේ.

මෙම සැකකරුවන්ට පහසුකම් සලසන ලද එම ප්‍රදේශයේ පදිංචි තවත් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම සැකකරුවන් සමඟ පොලිස් නිලධාරීන් පොර බඳින අවස්ථාවේ පලාගිය සැකකරුවෙකු වන කොන්තපෙන, බැඳිපිට, අඟුළුගම ප්‍රදේශයේ පදිංචි හක්‌මන පරන ලියනගේ නුවන් තාරක යන අය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි. මෙම සැකකරු අඩි 5 අගල් 6ක් පමණ උසැති අතර, දකුණු අතේ ඉහල බාහුවේ ඉංග්‍රීසියෙන් ANURADA ලෙස ද වම් අතේ ” හිතුමතේ ජීවිතේ” ලෙස පච්ච සලකුණු ඇත.

මෙම සැකකරුගේ ඡායාරූප ප්‍රසිද්ධ කර ඇති අතර ඔහු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටී.

පොලිස්පතිට කියන්න (WhatsApp) – 071 859 8888
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය  – 011 233 7162 / 071 859 2087