දකුණු ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රිය දෙමළ නළුවෙකු වන විජේ හෙවත් තලපති විජේ ශ්‍රී ලංකාවේ ද ජනප්‍රිය නළුවෙකි.

විජේ කියන්නේ කාගේ කවුද ?
දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ එස්. ඒ. චන්ද්‍රසේකර් සහ ගායිකාවක් වන ශෝබාගේ දරුවෙකු ලෙස එස්. ඒ. ජෝසප් විජේ චෙන්නායිහි දී උපත ලබන්නේ 1974 වසරේ ජුනි 22 වැනිදායි.

ඔහු පළමුව සිනමාවට පිවිසින්නේ සිය පියා 1992 දී අධ්‍යක්ෂණය කළ "නාලයියා තෙරප්පු" නම් චිත්‍රපටයෙනි.

ඉන්පසු ඔහු දකුණු ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රිය චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වූ අතර, චිත්‍රපට ගීත 29ක් ද ගායනා කර තිබේ.

මේ වන විට ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපට 68ක් නිකුත් වී ඇති අතර, අවසන් චිත්‍රපටය GOAT වන අතර එම චිත්‍රපටයේ ඇතැම් දර්ශන ශ්‍රී ලංකාවේ ද රූගත කර තිබේ.

රංගනයෙන් පසු දේශපාලනයට

දෙමළ සිනමාව තුළ අතිශය ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටි තලපති විජේ තමා
ඔහු රංගනයට සමු දී දේශපාලනයට පැමිණෙන බවට නිවේදනය කළේ මෙම වසරේ පෙබරවාරි මාසයේදීයි.

පසුව ඔහු ඔහුගේ නව දේශපාලන පක්ෂය වන 'තමිළාහ වෙට්රි කළහම්' පක්ෂය ආරම්භ කළ අතර අගෝස්තු මාසයේ දී පක්ෂයේ නිල ධජය සහ නිල ගීතන නිකුත් කරන ලදි.

'තමිළාහ වෙට්රි කළහම්' පක්ෂයේ පළමු සමුළුවට එක් වෙමින් ඔක්තෝබර් 27 තලපති විජේ ප්‍රකාශ කරන්නේ 2026 තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ දී සිය පක්ෂයට බහුතර බලයක් ලැබෙණු ඇතැයි අපේක්ෂා කරන බවයි.

"සිනමාව කියන්නේ සිංදුවක් හෝ නර්තනයක් හෝ රසවිඳීමක් පමණක් නොවෙයි. ඒකට තමිල්නාඩුවේ කලාව, සාහිත්‍ය, ජීවිතය සහ සංස්කෘතිය ඇතුළත් වෙනවා. ද්‍රවිඩ මතවාදය ජනතාව අතරට ගෙන ඒමත් සිනමාවෙන් සිදුවුණා," ඔහු පවසා තිබේ.

ඔහුගේ දේශපාලන ප්‍රතිපත්ති තුළ තමිල්නාඩුවේ ප්‍රධාත ම දේශපාලන මතවාද දෙක වන දෙමළ මතවාදය සහ දෙමළ ජාතිකවාදය යන දෙකෙහි ම බෙදීමක් නොමැති බව ඔහු පවසා තිබේ.

සිනමාවෙන් දේශපාලනයට. තමිල්නාඩුවේ උරුමයද?

තමිල්නාඩු මහ ඇමති ධූර මෙතෙක් දරා ඇති අයගෙන් බොහෝ දෙනෙකු දකුණු ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රියත්වයට පත් වූ අයයි.

අවස්ථා හතරක දී තමිල්නාඩුවේ මහ ඇමති ධූරයට පත් එම්. කරුණානිධි දකුණු ඉන්දීය සිනමාවේ තිර පිටපත් රචකයෙකු ලෙස කටයුතු කර ජනප්‍රියත්වයට පත් වූ අයෙක් වන අතර වර්තමානයේ තමිල්නාඩුවේ මහ ඇමති ධූරය දරන එම්. කේ. ස්ටාර්ලින් ඔහුගේ පුත්‍රයා ය.

පස් වතාවක් මහ ඇමති ලෙස කටයුතු කළ ජයලලිතා ජයරාම් ද දකුණු ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රියත්වයට පත් වූ නිළියකි.

ඔවුන්ට අමතර ව එම්. ජී. රාමචන්ද්‍රන් හෙවත් එම්.ජී.ආර්. සහ ඔහුගේ මරණයෙන් හිස් වූ මහ ඇමති ධූරයට පත් වූ ඔහුගේ බිරිඳ වූ ජානකී රාමචන්ද්‍රන් ද සිනමාවේ ලැබූ ජනප්‍රියත්වයත් සමඟ දේශපාලනයට පිවිසි අයයි.