ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය කමිටුවේ 78 වන සැසිවාරයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් මහතා අද (12) ශ්‍රී ලංකාවට පැමිණියේය.

ගෙබ්‍රෙයිසස් මහතා දෝහා සිට පෙ.ව. 9.40 ට කටාර් එයාර්වේස් හි QR 660 ගුවන් යානයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි අතර සෞඛ්‍ය හා මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් ගුවන් තොටුපළේ ප්‍රභූ විවේකාගාරයේදී ඔහුව පිළිගනු ලැබීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිධානය කරන ලද මෙම සමුළුව හෙට (13) සිට 15 වන දින දක්වා කොළඹදී පැවැත්වේ.

අග්නිදිග ආසියානු කලාපයේ රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් ද මෙම අවස්ථාවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම අපේක්ෂා කෙරේ.